දන්නා-හඳුනන කම තියනවා. ඊට එහා ගිය දෙයකුත් තියනවා මිතුරුකම කියලා. මම දන්න-හඳුනන අය අතරේ කවරහු ද මම මිතුරු ගණයට ඇතුලත් කරන්නේ? ඔබත් හිතන්න මේ ගැන. කවුද ඔබේ ඇත්ත මිතුරෝ? මෙතැනදී අපි ගැහැණු පිරිමි දෙවර්ගයටම ‘මිතුරෝ’ කියමු.
නිතර හමු වෙන, නිතර ගනුදෙනු කරන අය ‘මිතුරෝ’, වැඩිය ඇසුරු කරන්නේ නැති අය ‘දන්න-හඳුනන්නෝ’ වෙන්න පුළුවන්. හැබැයි, ඇත්ත මිතුරෝ කියන්නේ නිතර හමු වෙන, නිතර ගනුදෙනු කරන අය හැමෝමත් නෙවෙයි නේ? අපි හිතුවොත් අපේ පවුල් වලට සම්බන්ධ අය හෙවත් නෑදෑයෝ සහ අසල්වැසියෝ වැනි අය – මේ අතරෙත් ඉන්නවා මිතුරෝ. අපි කොතෙක් ලඟින් ඇසුරු කරත්, මීතුරෝ කියලා දකින්නේ නැති සමහරුත් ඉන්නවා. අමිතුරු යාළුවොත් මිතුරු යාළුවොත් අපි එක වගේ දකිනවා වෙන්නත් පුළුවන්.
අපට ආදරේ සහ අපි ආදරේ අය වගේම අපට එච්චර ආදරේ නැති සහ අපිත් එච්චර ආදරේ නැති අය එකම ගොඩේ දාලා වෙන්න පුළුවන් අපි සලකන්නේ. ඒ දෙවෙනි පිරිස මිතුරෝ නෙවෙයි, නිකම්ම ඇසුරු කරන අය පමණයි, කොච්චර නිතර ගනුදෙනු කරත්. මේ දෙගොල්ලෝ ම අපි එක වගේ ‘යාලුවෝ’ ගණයට දා සැලකුවොත්, මේ අය අතර වෙනස අපටත් නො පෙනී යන්න පුළුවන්. ඇත්ත මිතුරන් කියලා සලකන්න පුළුවන් අය එක්ක තියෙන අපේ ගනුදෙනු අනෙකුත් යාලුවන් එක්ක තියන ගනුදෙනුවන්ට සමාන ද? එසේ නම් එය ගුණ ද? හරි ද?
මගේ ඇත්ත ම මිතුරෝ ලෙස සලකන්න වටින අය වෙන වෙනම මතක් කරන එක හොඳ වැඩක්. මේ මොහොතේ උනත්. ඒ අය අතරේ ඉහලින්ම ඉන්න දෙතුන් දෙනා හිතෙන් හෝ බදාගන්න එකත් හොඳයි.
ලිංගික සහ ප්‍රේම එකෙයි මිතුරු එකෙයි වෙනස වන්නේ මිතුරු කෙනා තමා සමඟ ඉන්නවා උනාට, ආදරේ උනාට, අපෙන් ලිංගික හෝ වෙන ආකාරයක තෑගි හෝ වාසි බලාපොරොත්තු වෙන්නේ නැති එක. අපි වෙනත් කෙනෙක්ටත් සමීප උනාට එයාට අමාරුවක් දැනෙන්නේ නැහැ. අපි ඇයට හෝ ඔහුට අයිතියි කියලා හිතන්නෙත් නැහැ. සමහර ලිංගික සහ ප්‍රේම සබඳතාවන් ඇත්තට ම මිතුරු ඒවා ද වෙනවා. එහෙම සබඳතා වල සුවය අද්විතීයයි.
මිතු දම් මහා සැපක්. ඒ විතරක් නෙවෙයි, නිරතුරුව මෙනෙහි කර, පොහොර දමා, දිනෙන් දින වඩවා ගත්තොත් සහ පුළුල්ව විහිද ගත්තොත් ජීවිතේට මහා වාසියක් සහ වාසනාවක්.




