හොඳ – නරක තරඟය

බැලූ බැල්මට පෙනෙන්නේ හොඳ කියන දෙය නරක කියන දෙයින් නිතරම යට වෙනවා. අප ද ටික ටික කලකිරෙනවා ලෝකයේ සාධාරණත්වයක් නැහැ කියලා. ඉන් පසු නැවත සැනසෙනවා මීළඟ ආත්මයේ හෝ මේ වැරදි හරි යන බව මතක් කරලා. මැරුණට පසුව එන භවයකදී හොඳ දෙයට හොඳ ප්‍රතිපල ලැබෙයි කියලා.

ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ පොදුවේ මනුස්සයෝ හරි විදිහට මෙළොවත් හැසිරෙයි කියලා? මම හිතන්නේ අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ අප අතිශය බහුතරයක් පුද්ගලිකව හොඳ විදිහට හැසිරෙන්න උත්සාහා කරන නිසා කියලා. ඒ නිසයි අපි ඉබේම බලාපොරොත්තු වෙන්නේ අනෙත් අය ද හරි දේ කරයි කියලා. සාධාරණත්වය අපි අගය කරන නිසා අපි හිතනවා ශක්තිය, බලය තියන කෙනාත් එලෙසම එයට ගරු කරයි කියලා. හැබැයි අපි සමස්ත ලෝකය දිහා බැලුවම පෙනෙන්න තියන්නේ බල ව්‍යුහ වල ඉහලට යන්න යන්න අසාධාරණත්වය දිනනවා වගෙයි. ඇයි ලෝකය මේ වගේ වෙන්නේ කියන එකේ පදනම සංකීර්ණයි. ඉන් එක් හේතුවක් වෙන්නේ මනුෂ්‍ය ගති අඩු අය ඉහළට එන ක්‍රමයක් තරඟකාරී ව්‍යුහ වල ක්‍රියාත්මක නිසයි.

එසේනම් අපි නරක හෝ අසාධාරණ දෙයට එරෙහි වීම හෝ එයට විරුද්ධව සටන් කිරීම තේරුමක් නැද්ද? යහපත් එක කෙසේ හෝ අයහපත් එකෙන් යට වෙනවා නම් අපට මේ උත්සාහය දිනන්න ම බැරි ද? අපි යහපත් එක දිනවන්න යහපත් ක්‍රම පාවිච්චි කරන නිසා ම අයහපත් එකට පුළුවන් වෙනවා එය බලෙන් යට කර උඩට එන්න. අයහපත් බවේ ප්‍රබලත්වය වෙනස් කරන්න ප්‍රතිවිරුද්ධ බලයක් යොදන්න වෙනවා අපටත්. එතකොට දිනලා වැඩක් නැහැ – නරක දේ පැරදවීමේ උත්සාහයේදී, අපටත් අයහපත් එකේ ක්‍රම ම පාවිච්චි කරන්න වුනොත්. දිනිමේදී අපත් අයහපත් වෙලා.

එහෙනම්, අපි හොඳ අය වෙලා, හිස නමලා දුෂ්ට එකට දිනන්න දීලා, මතු ආත්ම වල හෝ හරි දේ ජය ගන්නවනේ කියා ඉන්න එක ද හොඳ? සුව ක්‍රම හරහා යහපත් බව හෝ සාධාරණත්වය වැනි දෑ දිනවන්න ම බැරි ද?

පුළුවන් බවයි මගේ හැඟීම. හැබැයි, යහපත් බව හෝ සාධාරණත්වය හෝ නඟාසිටුවීමට අපේ උනන්දුව පමණක් මදි. අවබෝධයත් නිවැරදි නම් විතරයි පුළුවන්. ඒ සඳහා අවශ්‍ය අවබෝධයේ පැති කිහිපයක් තිබෙනවා. මින් එකක් වෙන්නේ අපේ පිවිසුම තව තව නිවැරදි කර ගැනීමයි. බලහත්කාරයෙන් දිනන්න හදන අයහපත් බලපෑම් වුවත් අවසානයේදී සුව කරන්න පුළුවන් වන්නේ හරි දෙය හරි ලෙස දකින ගතියක් පොදු මනුස්ස ස්වභාවය තුල ඇති බව තේරුම් ගැනීම තුලයි. කවර සංස්කෘතියක වුවද මේ මනුස්ස ගතිය නො නැසී තවමත් ඉතිරිව තිබෙනවා. බලෙන් අටවා ඇති නපුරු සිවිය ඉවත් කර එය ඉස්මතු කරවීම තමයි අප උත්සාහයේ ලොකු කොටසක් විය යුතු. හරි විදිහට ඇමතුවොත් අදාල පුද්ගලයන් හෝ කණ්ඩායම් අවදිකරවීමට අපට පුළුවන් විය යුතුය යන විශ්වාසයත් සාර්ථකත්වයේ කොටසක්. නිවැරදි ක්‍රම යොදන එකත් කොටසක්.

සුව පැත්ත දිනවන්න අප අතරින් ම කුමක් හෝ ලියලා මතු විය යුතු යි. නපුරු බලපෑම් ප්‍රබල වෙන තැන් හෝ අවස්ථා වල, එසේ සිදු වන්නේ ටික දෙනෙකු හරහා යි. ඒ අයගෙ බලපෑම අදාල පද්ධතියේ සෙසු අයගේ තියුණු අවබෝධය තුලින් සමනය කර ගන්න බොහෝ විට පුළුවන්. අදාල පද්ධති යනු පවුල, ප්‍රජාව, මිතුරු හෝ ඥාති පිරිස, සේවා ස්ථානය ආදිය විය හැකි යි. එකිනෙකා හොඳින් දන්නා හඳුනන පිරිසක් අතරේ නපුරු පැවතුම් දිගට ම පවත්වා ගැනීම පහසු නැහැ. ඒ සමීප පිරිසෙන් ඔබ්බට ගියාම නම් අයහපත් එක ඊට වඩා පවතිනවා. එකිනෙකා හොඳින් හඳුනන පිරිස් අතරේ නපුරු බලපෑම් පද්ධතිය හරහා ම, සුහදව සුවපත් කිරීමට ටික කලකදී පුළුවන් වෙනවා. එහෙම බැරි අවස්ථා තිබෙන්නේ විරලව.

එකිනෙකා හොඳින් දන්නා හඳුනන පිරිස් අතරේ වුවත් යහපත ජය ගැන්වීමට බැරි වෙන්නේ ප්‍රධාන සාධක දෙක තුනක් නිසයි. මින් එකක් වන්නේ ඒ පිරිසේ එක් අයෙකුට හෝ ටික දෙනෙකුට ඉන් පිටත තිබෙන ප්‍රබල බලපැමක හෝ බලවේගයක ශක්තිය හෝ අනුග්‍රහය තිබෙන විටයි. එසේත් නැත්නම්, තම සමීප ම අයගේ හෝ ප්‍රජාවේ හැඟීම වුවත් නොදැනෙන අයෙක් හෝ දෙදෙනෙක් සිටින විටයි. සුව කල නොහැකි ම අය අතිශය විරල යි. එබඳු අය සුව දෙසට හැරවීම අපහසු වන්නේ ඔවුන් අඥාණ ද වුවහොත්. මෝඩ ම අයහපත්බව හොද කරන්න අමාරු යි. එතන්හි අප අසාර්ථක වෙන්න පුළුවන්. එනමුත් එසේ වන්නේ ඉඳහිට ම තමයි.

YouTube සාකච්චාවන්:

Leave a reply:

Your email address will not be published.

Site Footer