ආදර හැඟුම්, ආදර වදන්

‘ප්‍රේමය’ යන අරුතින් ගත් කල, ආදරය කියන දෙය බොලඳ, බාල දෙයක් ලෙස සැලකීම සමාජයේ පවතින එක් ප්‍රවණතාවක්. බහුතරයක් එය දකින්නේ පුස් දෙයක් ලෙස වෙන්නත් පුළුවන් – විශේෂයෙන් වයස 35 විතර පැන්නට පස්සේ. වයස 25 ට අඩු බොහෝ අය එය දකින්නේ මීට වෙනස්ව වගෙයි පෙනෙන්නේ. ප්‍රේමය තදින් ම විඳින සහ විඳෙන වකවානු වලදී එයට එහා සුව වෙන දෙයක් නැති තරම්. වයස වැඩි වෙත්ම මේ අත්දැකීම් අඩු විය යුතු ම නැහැ.

ප්‍රේම සබඳතා අතරින් සැලකිය යුතු කොටසක ලක්ෂණයක් තමයි, එක් කෙනෙක් තව කෙනෙකුට පණ වගේ ආදරේ කරනකොට, දෙවැන්නා, ඒ කෙනාට පෙරලා ටිකක් ආදරේ උනත්, ඉහළින් ම ආසා වෙන්නේ වෙනත් කෙනෙකුට වීම. හැබැයි දෙවැන්නා වැඩියෙන්ම ආදරේ කරන ඒ කෙනා, එනම් තුන්වැන්නා, ඉහළින් ම පතන්නේ වෙනත් ම කෙනෙක්ව, හතරවන්නෙක්, වෙන්නත් පුළුවන්. තමා වැඩියෙන් ම ආදරේ කෙනා පෙරලා වැඩියෙන් ම ආදරේ තමන්ට ම වන තන්හි, සබඳතාවය ඉහළ ම ඉහළ යි. හැබැයි, ආදර සබඳතා සැලකිය යුතු ගණනක අසමාන මට්ටමේ ආදර තමයි අන්‍යොන්‍යව තියන්නේ.

එය එසේ විය හැකි අතර, එකිනෙකා කෙරෙහි උග්‍ර ප්‍රේමයක්, ආදරයක්, ආසාවක් දෙදෙනාට ම එක ම කල්හි දැනෙන වකවානු නම්  සුවිශේෂයි.  කියලා වැඩක් නෑ ම තමයි. එවන් කල්හි සිත කය වචනය සියල්ල එක ම දිසාවකට ගලන හවුල් ගින්නක් වෙයි – සියල්ල දවා ලෑමට වුවත් සමත්. මේ දැනෙන දේ දිගට ම තබා ගන්නත් තදින් උවමනා වෙයි. එය මිහිරි ම වචනයෙන් කියන විට, ඇසෙන විට, හැඟීම තව තව තීව්‍ර කර යි. වදන් හරහා අන්‍යොන්‍ය දැනුම්දීම සිතයි කයයි විඳින දෑ තව උග්‍ර කර යි. එයට අලුත් අරුත් සහ පැති එකතු කරයි. කයින් ආසන්න නැති අවධි වලත් ආදරේ සහ ඉල්ලීම වචන හරහා පැවතෙයි, සමහර විට වැඩෙයි. වචනත් මැජික්.

එදිනෙදා ලඟින් ම ඉඳින කල පවතිනවාට වඩා, දෙදෙනා වැඩි දවසක් එකිනෙකාගෙන් දුරස්ව වෙසෙන තන්හි දැඩි ආදරය වැඩි කල් පවතිනු ඇති ද? දුර සිට හුවමාරු කරන වචන වඩා ප්‍රබල ද, එදිනෙදා ඉන්න කෙනා සමඟ හුවමාරු කරගත හැකි ඒවාට වඩා? සැමවිට ලඟින් ම ඉන්න කෙනාට අනෙකාගේ ආදර වචන ද ක්‍රමයෙන් බර රහිත වෙන්නත් පුළුවන්. ලංව දිගු කලක් ඉන්න විටදීත් හැඟුම් වඩවන වචන නැද්ද? එසේ තිබුණි නම් එවන් වදන් අප සොයා ගන්නේ කොහොම ද, කොහෙන් ද? එකට විසුවත් දිගු කලක්, ඔප් බැස නො ගිය වදන් ඉතිරිව තිබුනි නම් කනට කොඳුරන්නට – කියලා වැඩක් නෑ, නේ ද?

 

Leave a reply:

Your email address will not be published.

Site Footer