යන්ත්‍ර සූත්‍ර ද මායම් ද?

 

අපේ ජිවිත පැල වෙලා තියන්නේ මේ මහා පොලොව මතත්.

අපි එකේ අවිද්දට, ගෙවල් හැදුවට, රසායන හෝ ප්ලාස්ටික් එකතු කරාට අපි පොලොව හා සම්බන්ධය හරියට දැනෙන්නේ නැහැ. පැලයක් රෝපණය කරාම, පස අතගගෑවම එහෙම ඊට වඩා දැනෙනවා.

ඒ වගේම අපේ ජිවිත පැල වෙලා තියන්නේ, හැදෙන්නේ වැඩෙන්නේ අපේ මනුස්ස සබඳතා ජාලය තුල. අපේ ම පවුල්, කණ්ඩායම්, ප්‍රජාවන්, තුල.

හරියට මල් පලගන්න ජිවිතේ වැඩෙන්නේ අපේ ඇතුලෙත්, අපේ ප්‍රජාවෙත් හරි සහ යහපත් දේ පෝෂණය කරන පස තුල. හරි දේ හැමදාම දිනවන්න බලන උත්සාහය තුල – කවර, කුමන බලවේග එයට නිගා කලත්, පහර දුන්නත්.

ඔය සියල්ලට පොදු, යටින් දුවන, ලොකු ගඟක් තමයි අපේ කතා බහ. අපි අපේ ඇතුලත එක්ක සහ පිට ලෝකය එක්ක හුවමාරුව.

මේකෙදි අපේ ගනු දෙනු පදනම් වන්නේ අපේම වචන, හැඟීම් සහ අදහස් අනුනටත් අපටත් ඇති සැටියෙන් දැනෙන භාෂාවේ. ඒක අපේ වටිනාකම් ගැන, අසාවන් ගැන, සමාජය මොන වගේද වෙන්න ඕන කියන එක ගැන, නිවැරදි හුවමාරු ඇති කර ගන්නට ආයුධයක්. මේ අපේ ම ගනුදෙනු ආයුධය දැන් සමහර ජන කොටස්වලට අහිමි වේගෙන යනවා. ප්‍රධාන වශයෙන් ඉංගිරිසියෙන් හිතන, පතන, කතා කරන ජනයා ට. දැන් ඒ අයගේ භාෂාව ඒ අයගෙන් ගිලිහිලා යමින්. ඒ නිසා ම හිතන හැකියාවත් පුරුද්දත් ගිලිහිලා යමින්. මනුස්ස කතාබහ සහ ගනුදෙනුත් බැහැලා යමින්.

කෝටි ගණන් මනුස්සයෝ දැන් වඩා සුමටව, පහසුවට සහ ඉක්මනට අදහස්, බලාපොත්තු, හැගීම් ආදිය බෙදාගන්නේ යන්ත්‍ර සමඟ. යන්ත්‍ර තුල ජිවත් වෙන ChatGPT, Copilot සහ මෙකි නොකී අය ඒ කට්ටිය සමඟ කතා බහේ. හුස්ම ගන්න මනුස්සයෝ සහ මනුස්ස හවුල් කොහේ හෝ මඟ හැලෙමින් යනවා. මේ අලුත් අවයව වලට ටික ටික පුරුදු කරගෙන යනවා තව තවත් හොඳට තමන්ව තේරුම්ගන්න, නලවන්න, අන්දන්න. හුස්ම ගන්න අනෙකුත් ජීවින්ගෙන් ස්වාදීනව පවතින්න. තව තව හොඳින් තමන්ව ම පෙරලා පුහුණු කරන විධි මේ යන්ත්‍ර වලට පුහුණු කරන එකයි මේ කෙරීගෙන යන්නේ.

මහ පොළොවේ මුණ ගැහෙන තමන් වගේ අනෙක් අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නවානම් ගන්නේ යන්ත්‍ර විසින් ඒ අයටත් පුහුණු කරගත් භාෂාව හරහා. හරි සුමටව, මොකද හැමෝම එක භාෂාවේ, එක මතයේ, එක අභිලාෂයේ. අපි පුහුණු කළ යන්ත්‍ර විසින් පෙරලා අපිට ම පුහුණු කරන මත, අදහස් සහ අභිලාශ ආදියේ පදනම්ව. හැබැයි ඉතින් ඒ ගනුදෙනු ඕනත් නැහැ, යන්ත්‍රය ඊට සමීප යි.

ඉංගිරිසි ලෝකයෙන් පිටත මේ විප්ලවේ ඒ තරමට ම සිදුවෙලා නැහැ. ඒ ලෝකයත් එතනට එන එක සිකුරුයි. කොපමණ කලකින්ද වෙන්නේ කියන එක විතර යි ප්‍රශ්ණය.

Leave a reply:

Your email address will not be published.

Site Footer