ඔන්න, තරුණ යුවලක් කන්දක් නගිනවා. නගින ගමන් තරුණිය සැමියාගෙන් අහනවා, ‘ඇයි අපි මෙච්චර මහන්සි වෙමින් මේකේ නගින්නේ?’ කියා.
‘කන්ද මුදුනෙදි ඔයාට තෑග්ගක් දෙන්න යි. මහා උසකුත් නෙවෙයි නේ.’
‘හරි, නගිමු, නගිමු. මට තෑගි ඕන නැහැ. ඔයත් එක්ක මේ කන්ද නගින එකත් සැපක්. මම නිකමට ඇහුවේ.’
කඳු මුදුන ආසන්නයේදී සැමියා ඇයට කියනවා, ‘ඇස් වහ ගන්න. මම අතින් අල්ලං යන්නම් ඉතුරු පියවර ටික. මම කිව්වම විතරක් ඇස් අරින්න.’
පරෙස්සමෙන් ඇයව කන්දේ මුදුනට ම අතින් අල්ලං ගිහිං ඔහු ඇයට කියනවා, ‘දැන් ඇස් ඇරලා බලන්න.’
ඉදිරියේ දිස් වෙන සුන්දර චිත්‍රය එක වර දැක, ඇය වෙලාවක් නිහඬව බලාගෙන ම ඉන්නවා, පහතින් දිග හැර ඇති මේ අපූරු ලෝකය දෙස. පසුගිය දිනක අවුරුදු හැත්තෑව පිරූ ඇය, මේ දසුන විඳින්නේ අවුරුදු තුනක දරුවෙක් අලුත් බෝනික්කෙක් බදා ගන්න හැඟීමෙන්. ‘මේ මොහොත මම සදහට ම හිතේ තියා ගෙන විඳිනවා – ආයෙත් මේ මොහොත එන්නේ නැති නිසා.’
හැත්තෑ පස් වියේ පසුවන තරුණ සැමියා කියනවා, ‘කොයි මොහොත උනත් ඉතින් ආයෙත් එන්නේ නැහැ නේ? සමහර අයට ඒ මොහොතේ විස්මය දැනෙන්නේ නැති එකයි පවු. අපි වාසනාවන්තයි.’
ආපසු යන ගමන් ඇය මේ අත්දැකීම නැවත මතක් කරමින් සැමියාට කියනවා, ‘අපරාදේ නේ, තව කී දෙනෙක් ඇති ද, මම මේකේ නගින කොට හිටියා වගේ, දැනට පෙනෙන ලස්සනට එහා ලස්සනක් අත ලඟම තියන බව දන්නේ නැති, දැකලා නැති. එක්කෝ හිතලවත් නැති’, කියා.
‘හැබැයි ඉතිං අපි දෙන්නත් තාම දකින්නේ නැති තව කොච්චර ඇති ද, නේ?’
‘ආ… එකත් හරි. කන්දේ මුදුනට ම ගියත් – ඊටත් උඩ, ඊටත් සුව මට්ටමක් තියනවා වගෙයි ..?’
‘තව එකක්. අර සදහට ම තියා ගන්නවා කියලා හිතේ ඇඳගත් චිත්‍රය දැනටමත් ටිකක් බොඳ වෙලා නැද්ද – අනෙක් හැම දේම වගේ?’
අතිනත් අල්ලන් දෙන්නා කන්ද බහින්නේ බොහෝම හෙමින්. එතැන තියලා ආපසු යන්න අකැමැත්තෙන් ද කොහෙද.




