බැලූ බැල්මට පෙනෙන්නේ හොඳ කියන දෙය නරක කියන දෙයින් නිතරම යට වෙනවා. අප ද ටික ටික කලකිරෙනවා ලෝකයේ සාධාරණත්වයක් නැහැ කියලා. ඉන් පසු නැවත සැනසෙනවා මීළඟ ආත්මයේ හෝ මේ වැරදි හරි යන බව මතක් කරලා. මැරුණට පසුව එන භවයකදී හොඳ දෙයට හොඳ ප්‍රතිපල ලැබෙයි කියලා.
ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ පොදුවේ මනුස්සයෝ හරි විදිහට මෙළොවත් හැසිරෙයි කියලා? මම හිතන්නේ අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ අප අතිශය බහුතරයක් පුද්ගලිකව හොඳ විදිහට හැසිරෙන්න උත්සාහා කරන නිසා කියලා. ඒ නිසයි අපි ඉබේම බලාපොරොත්තු වෙන්නේ අනෙත් අය ද හරි දේ කරයි කියලා. සාධාරණත්වය අපි අගය කරන නිසා අපි හිතනවා ශක්තිය, බලය තියන කෙනාත් එලෙසම එයට ගරු කරයි කියලා. හැබැයි අපි සමස්ත ලෝකය දිහා බැලුවම පෙනෙන්න තියන්නේ බල ව්‍යුහ වල ඉහලට යන්න යන්න අසාධාරණත්වය දිනනවා වගෙයි. මෙහි පදනම සවිස්තරව මෙතැනදී පිරික්සන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටියෙන් කිවහොත්, එසේ වෙන්නේ පොදු මනුෂ්‍ය ගති අඩු අය ඉහළට එන ක්‍රමයක් තරඟකාරී ව්‍යුහ වල ක්‍රියාත්මක නිසයි.
එසේනම් අපි නරක හෝ අසාධාරණ දෙයට එරෙහි වීම හෝ එයට විරුද්ධව සටන් කිරීම තේරුමක් නැද්ද? යහපත් එක කෙසේ හෝ අයහපත් එකෙන් යට වෙනවා නම් අපට මේ උත්සාහය දිනන්න ම බැරි ද? අපි යහපත් එක දිනවන්න යහපත් ක්‍රම පාවිච්චි කරන නිසා ම අයහපත් එකට එය බලෙන් යට කර උඩට එන්න පුළුවන් වෙනවා. අයහපත් බවේ ප්‍රබලත්වය තුලින් හොඳ දේ පරද්දවන එක වෙනස් කරන්න ප්‍රති බලයක් ගොඩ නඟා ගන්න අපටත් අයහපත් ක්‍රම යොදන්න වෙනවා. නරක දේ පැරදවීමේ උත්සාහයේදී, අපටත් අයහපත් ක්‍රම පාවිච්චි කරන්න වුනොත්, දිනලා වැඩක් නැහැ – දිනිමේදී අපත් අයහපත් වෙනවා නම්.
එහෙනම්, අපි යහපත් විදිහට හිස නමලා දුෂ්ට එකට දිනන්න දීලා, මතු ආත්ම වල හෝ හරි දේ ජය ගන්නවනේ කියා ඉන්න එක ද හොඳ? දුෂ්ට නොවන ක්‍රම හරහා යහපත් බව, සාධාරණත්වය දිනවන්න ම බැරි ද?
පුළුවන් බවයි මගේ හැඟීම. හැබැයි, යහපත් බව හෝ සාධාරණත්වය හෝ නඟාසිටුවීමට අපේ උනන්දුව පමණක් මදි. අවබෝධයත් නිවැරදි නම් විතරයි පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පැති කිහිපයක් තිබෙනවා හිතන්න. මින් එකක් වෙන්නේ අපේ පිවිසුම තව තව නිවැරදි කර ගැනීමයි. හරි දෙය හරි ලෙස දකින සහ අගයන ගතියක් පොදු මනුස්ස ස්වභාවය තුල ඇති බව තේරුම් ගැනීම තුලයි අපි දිනන්නේ. කවර සංස්කෘතියක වුවද මේ මනුස්ස ගතිය පිහිටා තිබෙනවා. බලෙන් අටවා ඇති මතුපිට නපුරු එක පරදා හොඳ හෝ ඇත්ත එක ඉස්මතු කරවීම තමයි අප උත්සාහයේ ලොකු කොටසක් විය යුතු. හරි විදිහට ඇමතුවොත්, අදාල පුද්ගලයන් හෝ කණ්ඩායම් අවදිකරවීමට අපට පුළුවන් විය යුතුය යන විශ්වාසයත් සාර්ථකත්වයේ කොටසක්.
සුව පැත්ත දිනවන්න අදාල පිරිස ම සක්‍රිය විය යුතු යි. නපුරු බලපෑම් ප්‍රබල වෙන තැන් හෝ අවස්ථා වල, එසේ සිදු වන්නේ ටික දෙනෙකු හරහා යි. ඒ අයගෙ බලපෑම අදාල පද්ධතියේ දියුණුව තුලින් සමනය කර ගන්න බොහෝ විට පුළුවන්. පද්ධතිය කියන්නේ පවුල, ප්‍රජාව, මිතුරු හෝ ඥාති පිරිස, සේවා ස්ථානය ආදිය යි. එකිනෙකා හොඳින් දන්නා හඳුනන පිරිස අතරේ නපුරු ගති පැවතුම් දිගට ම පවත්වා ගැනීම පහසු නැහැ. ඒ සමීප පිරිසෙන් ඔබ්බට ගියාම නම් අයහපත් එක ඊට වඩා පවතිනවා. එකිනෙකා හොඳින් හඳුනන පිරිස් අතරේ නපුරු බලපෑම් පද්ධතිය හරහා සුවපත් කිරීම ටික කලකදී පුළුවන් වෙනවා. එහෙම බැරි අවස්ථා තිබෙන්නේ විරලව.
එකිනෙකා හොඳින් දන්නා හඳුනන පිරිස් අතරේ වුවත් යහපත ජය ගැන්වීමට බැරි වෙන්නේ ප්‍රධාන සාධක දෙක තුනක් නිසයි. මින් එකක් වන්නේ ඒ පිරිසේ එක් අයෙකුට හෝ ටික දෙනෙකුට ඉන් පිටත තිබෙන ප්‍රබල බලපැමක හෝ බලවේගයක ශක්තිය හෝ අනුග්‍රහය තිබෙන විටයි. එසේත් නැත්නම්, තම සමීප ම අයගේ හෝ ප්‍රජාවේ හැඟීම වුවත් නොදැනෙන විදිහේ අයෙක් හෝ දෙදෙනෙක් සිටින විටයි .එබඳු අය ඇත්තේ විරලව ම යි. එ තන්හි අප අසාර්ථක වෙන්න පුළුවන්. එබඳු අය සුව දෙසට හැරවීම අසාර්ථක කරන සාධකයක් වන්නේ අඥාණතත්වයයි. මෝඩ ම අයහපත්බව හොද කරන්න අමාරු යි.




