ගුරුවරයෙක් ලෙස නම් නොවෙයි සැලී හුලගල්ල තමාව දුටුවේ. එහෙත් ඇය අපට ඉගැන්වූ වටිනා පාඩම් බොහෝ යි.
ගුරුවරු මහත් උත්සහයෙන් උගන්වන දේවල් වලට වඩා අගනා පාඩම් ඔවුහු අපට ලබාදෙන්නේ තම පැවැත්ම හරහා, නොදැනී ම පෙන්වා දෙන දෑ තුලින් ය. එසේ නම් අප කවුරුත් ගුරුවරු. කවුරුත් සිසුහු.
වචන වලින් නොව පැවැත්ම තුලින් සැලී හුළුගල්ල අපට දකින්නට සැලැස්වූ සමහර පාඩම් අමිල ය. ඉන් තුන හතරක් මගේ වචන වලට හරවන්න උත්සාහයක් මේ:
විඳින්නට සිදුවන ප්‍රහාර හෝ අවමාන කෙතරම් බිහිසුණු වුවත් තමා ඇළුම් කරන සත් අරමුණු උදෙසා ගෙන යන උත්සහයන් අත් නො හැරීම.
තමා ඇළුම් කරන සහ සලකන අය කොතෙක් සිටියත් ඔවුන් එකිනෙකා උදෙසා දරන වෙහෙස සැමවිටම පවත්වා ගැනීම.
කොන් කර ඇති හෝ අමතක කරන ලද හෝ අය විශේෂිතව, තමන්ගේ ආදරයට සහ සැලකිල්ලට බඳුන් වන සංඛ්‍යාව සුළුපටු නො වීම.
අනුනට සත්‍ය වශයෙන් ඇළුම් කිරීම යන්නෙහි අංග අතර ගෞරවය, රැකබලාගැනීම සහ නො වරදවා ඒ පුද්ගලයා සමඟ සිටීම ද ඇතුලත් බව.




