බුලත් විට හැපීම තුලින් සිදුවන හානි අඩු කිරීම
මෑතක සිට කෙරීගෙන යන උත්සාහයන් සමහරකට සහභාගී වීම තුලින් මතු වූ අදහස් බොහෝ ය. මේ අතුරින් වැදගත් ම එකක් වනුයේ සමස්ථ උත්සාහයේ තිබිය යුතු ගුණාංග තව තව හොඳින් පිරික්සිය යුතු බවයි. පුළුල් වැඩපිළිවෙලක් නිවැරදිව මෙහෙයවීම සඳහා හැකිතාක් අංග සම්පුර්ණ චිත්‍රයක් පදනම්ව ඒය සැලසිය යුතු ය. එවන් අවබෝධ අත්තිවාරමක් ගොඩනැඟෙන්නේ එක්වර නො වේ. ක්‍රමිකව ඔපමට්ටම් කර ගනිමින් ඉදිරියට යන ගමනකිනි.
උදාහරණයක් ලෙස, ආරම්භක සැකිල්ලක් මෙහි පහත ඉදිරිපත් වේ. දිගට ම සංශෝදනයට ලක් කරමින් තව දියුණු කර ගත යුතු චිත්‍රයක් ලෙස යි මෙය ඉදිරිපත් කෙරෙන්නේ.
විග්‍රහ රාමුවක්
එක් පුද්ගලයෙක් සහ පවුලක් උදෙසා යෝග්‍ය මැදිහත්වීම් මෙන්ම කණ්ඩායමක්, ප්‍රජාවත්, වැඩබිමක්, කාර්යාලයක් හෝ සමස්ථ සමාජය ම සඳහා යෝග්‍ය මැදිහත්වීම් පිළිබඳව අවධානය යොමුකළ හැකි ය.
මේ දෙපැත්ත එකිනෙකට සම්බන්ධයි – එනම්:
- තනි තනි පුද්ගලයා සමඟ ගත හැකි පියවර විශ්ලේෂණය
- පිරිසක්, ප්‍රජාවක්, තැනක්, ජන කණ්ඩායමක් හෝ සමස්ථ සමාජය සමඟ ගත හැකි පියවර විශ්ලේෂණය
- A. තනි පුද්ගල යොමුව
අප සිතිය යුත්තේ පුද්ගලයා තුල ඇති විය යුතු වෙනස්කම් කවරේ ද, සහ ඒවා ජනිත කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව යි.
පුද්ගලයෝ වෙන් කිරීමෙහි ලා පහත අයුරින් සිතිය හැකි ය.
- දැනටමත් දිනපතා වාගේ බුලත් හපන අය
- ඉඳහිට හපන අය
- දැනට නොකළත්, ඉදිරියේදී බුලත් හපන පුරුද්දට යොමු වෙතැයි අනුමාන කල හැකි අය
- ඉදිරියෙදිත් යොමු නො වෙතැයි අනුමාන කල හැකි, දැනටත් භාවිතා නො කරන අය
අප සැලසුමේ අංගයක් වනුයේ මේ එකිනෙක කණඩායමට අයත් පුද්ගලයන් තුල තිබිය යුතු හොඳ ම පැවැත්ම කුමක් විය යුතු දැයි පිරික්සා පහදා ගැනීම යි. එවන් දිගහැරීම් එකිනෙක කණඩායමට අයත් අය පිළිබඳව වෙන් වෙන්ව සිදු කල යුතු ය.
උදාහරණයක් ලෙස දැනටමත් දිනපතා වාගේ බුලත් හපන අය සලකා බලමු. මේ එකිනෙක පුද්ගලයා තුල ඇති විය යුතු වැදගත් ම වෙනස්කමක් වන්නේ බුලත් විට සැපීම නිසා ඇතිවන හානි අඩු කර ගැන්ම ට පහසු ක්‍රම බොහෝ ඇති බව තේරුම් ගැනීමත්, ඉන් එකක් හෝ ක්‍රියාවට නැංවීම ඇරඹීමට උනන්දුවක් ඇති වීමත්, එසේ කිරීමට අවශ්‍ය හැකියාව වර්ධනය වීමත් ය.
එක් වර, අද සිට ම පුරුද්ද අත හැරිම ඒ පුද්ගලයා දකින හොඳම පියවර විය හැකි ය. එසේ නැත්නම්, විටෙහි අඩංගු පුවක් හා දුම්කොළ ප්‍රමාණය සුළු හෝ මාත්‍රා වලින් අඩු කිරීමට පටන් ගැන්ම වෙන්නට පුළුවන. තමා සමඟ ඉන්නා බුලත් හපන අය සමඟ මේ හැසිරීම ගැන ප්‍රශ්ණයක් මතු කිරීම වුවද යෝජිත තවත් ක්‍රියාකාරකමක් වීමට පුළුවන. උත්සාහයක් අරඹන්නට පෙර සිතිය යුතු කරුණක් වන්නේ තමන්ට මෙය දිගට ගෙන යා හැකි වෙනසක්ද යන්න ද පිරික්සුම යි.
නව පිළිවෙතක් තෝරා ගැන්මටත්, එය ක්‍රියාවට නැංවීමටත් පුද්ගලයා තුල තල්ලුවක් ඇති කිරීමේ ක්‍රම ද අදාල වැඩපිළිවෙලෙහි කොටසක්. සමහර අවස්ථාවන්හිදී, තම වටපිටාවේ ඇතිවන වෙනස්කම් නිසා පුද්ගලයා ඉබේම වෙනස් වීමට යොමු වන්නට ද පුළුවන.
- B. පුළුල් යොමුව
පුද්ගලයා තුල ඇති විය යුතු වෙනස්කම් මෙන්ම සමාජ වටපිටාවේ ඇති විය යුතු වෙනස්කම් කවරේ ද සහ ඒවා ජනිත කළ යුත්තේ කෙසේ ද යන්න දෙවන සිරස්තලය යි. මෙහි පැතිකඩ සමහරක් වන්නේ:
- බුලත් විට සැපීම මඟින් සිදුවන හානිදායක ප්‍රතිඵල සම්බන්ධයෙන් මහජනතාව අතර ඇති අවබෝධය තව පුළුල් සහ ගැඹුරු වීම. එ මෙන්ම මෙ මඟින් තමා අවට අයට සහ සමාජයට සිදුවන හානිය අවම කිරීම සඳහා උනන්දුවක් ඇති වීම.
- බුලත්විට භාවිතය ට – විශේෂයෙන් දුම්කොළ සහ පුවක් භාවිතය ට – අනුබල දෙන සාධක සොයා බලා, තේරුම් ගෙන, ඒ්වා ට විසඳුම් සෙවීම සඳහා ජනතාව ට උවමනාවක් ඇතිවීම.
- බුලත්විට භාවිතා කරන පුද්ගලයින් ඒවා භාවිතා කිරීම අඩු කිරීම ට, නතර කිරීම ට හෝ වඩාත් හානිදායක ද්‍රව්‍යයන් අවම කිරීම ට පෙළඹවන ආකාරයේ වටපිටාවක් ඇති වීම.
- අලුතින් මේ පුරුද්දට යොමු වීම් අඩු කිරීම ට අදාල වටපිටාවක් සැකසීම.
- නිශ්පාදකයින් හා වෙළෙන්දන් ඔවුන්ගේ නිශ්පාදන නිසා පාරිභෝගික ජනතාවට හිමි වන හානිදායක බලපෑම් වඩා නිවැරදිව තේරුම් ගැනීම සහ හානිය අවම කිරීම ට සිත් වීම. විටෙහි අඩංගු පුවක් හා දුම්කොළ ප්‍රමාණයන් අඩු කිරීමේ සිට වෙනත් ක්‍රම සොයා බැලීම. බුලත් විටෙහි අඩංගු අහිතකර සංඝඨකයන් ක්‍රමිකව අඩු කිරීම සහ ඉවත් කිරීම සම්බන්ධව සොයා බැලීම ට විවිධ අත්හදා බැලීම් කිරීම උදාහරණ වෙත්.
මේ එකිනෙක කරුණ ට බලපාන සාධක පිරික්සීම, හඳුනාගැනීම සහ තක්සේරු කිරීම ද මින් පසු සිදුවිය යුතු ය. උදාහරණ වශයෙන් ‘අලුතින් මේ පුරුද්දට යොමු වීම් අඩු කිරීම ට අදාල වටපිටාවක් සැකසීම’ ගතහොත්, එය ට බලපාන සාධක අතරේ සමීප අන් අයගේ යොමුකිරිම්, අප්‍රසන්න වුවත් ඒ බව ප්‍රකාශ කිරීමට මැලි වීම සහ එවන් පුරුද්දේ ඉන්න අය හෝ කෙනෙක් සමඟ වැඩි සුහද බවක් පෙන්වීමේ උවමනාව ආදිය බලපෑමට පුළුවන. ඒවා ට පිළිතුර වන්නේ බුලත් හැපීමේ හානිය පිළිබඳව දැනුවත් කිරීම පමණක් නොවේ.
ක්‍රියාවට නැංවීම
ඉහත විග්‍රහයේ ඉස්මතු වන සාධක ඇමතීම උදෙසා සුදුසු ම පියවර තෝරා බේරා ගෙන, ඒවා ඉලක්ක කරන පරිදි අප ක්‍රියාකාරකම් සැලසුම් කිරීම දැන් පහසු වෙයි. ඒ අනුව,
- එක් පුද්ගලයෙක් වශයෙන් හෝ තවත් අය හා හවුල්ව හෝ අප ට ගත හැකි පලදායි පියවර සිතා බැලීම හොඳ ඇරඹුමක්.
- කවර උත්සාහයක් ගත්ත ද, එහි සාර්ථක අසාර්ථකත්වය සංවේදීව සොයා බැලීම ට සුදුසු ක්‍රම සොයා බැලීම සහා තීන්දු කිරීම අනිවාර්ය තව පියවරක්. මෙහිදී සංවේදී දර්ශක මඟින් ප්‍රගතිය සෙවීම යනු අප ක්‍රියාකාරකම් කරන අතරතුර ම යෙදිය හැකි දර්ශකයි.
- ප්‍රගතිය දිගට ම සොයා බැලීම සඳහා සුදුසු දර්ශක තීන්දු කිරිමෙන් පසුව පමණක් අදාල ක්‍රියාකාරකම් දියත් කල යුතු ය. කවර හෝ අත්හදාබැලීම් හරහා වඩා සාර්ථක ක්‍රම සොයා ගැනීම සහ ප්‍රචලිත කිරීම මේ හරහා පහසු වේ.
ඉහත ඉදිරිපත් කෙරුනේ සැකිල්ලක් පමණි. සැකිල්ල සම්පුර්ණ කල පසු එකිනෙක අංගය වඩා සවිස්තරව විස්තර කිරීම ඇරඹීම ට පුළුවන. ඒ සමඟම පුළුල් විග්‍රහය ද තව තව නිවැරදි සහ අංග සම්පුර්ණ කර ගැන්ම ට පුළුවන.




